Saturday 2 May 2020

බුද්ධ ධර්මය - සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම්


  විෂය -  බුද්ධ ධර්මය
  පාඩම - සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම්
  පරිවේණාචාර්ය - පූජ්‍ය කුමාරගම විමලරංසි හිමි
     දිනය - 2020.05.02
     වේලාව - පෙ.ව. 8.30- 10.30
..........................................................................


භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් 



  1. බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය. 
  2. බිරිඳට අවමන් නො කිරීම ය. 
  3. සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය. 
  4. ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය. 
  5. වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය 

යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය



භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද



  1. කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය. 
  2. තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය. 
  3. සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය. 
  4. හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය. 
  5. සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය

යහපත් බිරියකගේ සහ යහපත් සැමියකුගේ රුව-ගුණ බුදු දහම අනුව පැහැදිලි කිරීමකි

ස්වාමි දියණිය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ සහයෝගික ජීවිතයක කොටස්කාරියක සේ ඇය හඳුනාගැනීම යි. බුදුසමය තත්කාලීන සමාජීය හරපද්ධතීන් අභියෝගයකට ලක් කළ අංග අතර කාන්තාව පිළිබඳ ආකල්පීය වෙනස ද වැදගත් ය. කාන්තාව හුදු උපකරණාර්ථය හෝ ද්විතීයික සත්ත්වයකු ය යන සම්මුතියට බුදුසමය එරෙහි වෙයි. භික්‍ෂුණී ශාසනය පිහිටුවීම, උපාසිකා තනතුර ඇති කිරීම ඒ අතර කැපීපෙනෙයි. මෙම ස්තර දෙක තුළ දී ද පුරුෂයාට වඩා ඇයට යම් යම් වරප්‍රසාද අහිමි වූ බව සත්‍යයකි. එහෙත් භාරතයේ පැවති ක්‍රමයට සාපේක්‍ෂ ව වඩාත් සුභවාදී තලයක් වෙත ඇය පමුණුවන ලද බව පෙනෙයි. කාන්තාව බුදුසමය තුළ දී ද සමාජ ගෞරවයට පාත්‍ර වන සත්ත්වයෙකි. ‘මාතුගාම’ සේ හැඳින්වීමෙන් අදහස් වන්නේ ‘මවුපස උදවිය, යන්න යි. ඇගේ සමාජ ගෞරවය ආරක්ෂා කළ බව ඉන් ප්‍රකාශිත ය.
සංයුක්ත නිකායේ ‘ධීතු’ සූත්‍රයේදී කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය බුදුරදුන් කොසොල් රජුට පැහැදිලි කරයි; සිල්වත්, ස්වාමියාට ගරු කරන කාන්තාව ඇතැම් විට පුරුෂයාට වඩා බුද්ධිමත් විය හැකි බව ප්‍රකාශ කරයි. එසේ ම ලෝකය පාලනය කිරීමට සමත් ශක්තිමත් පුරුෂයන් බිහි කරනුයේ කාන්තාව බැවින්, ඇයගේ අගය උසස් බව බුදුරදුහු පෙන්වා දෙති

”ඉත්ථිපි හි ඒකච්ඥඡියා
සෙය්‍යෝ පෝස ජනාධිප
මේධාවිනි සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යෝ ජායති පෝසෝ
සූරෝ හෝතිදිසම්පති
තාදිසා සුභගිය පුත්තෝ
රජ්ජම්හි අනුසාසති”

බිරිය සැමියාගේ සේවිකාවක ලෙස බුදුසමය නොපිළිගනියි. බිරිය යන පදය ම වර්තමාන සංස්කෘතික රාමුව තුළ යම් යම් අසාධාරණ අර්ථවලින් පරිපූර්ණ වූ වචනයක් ලෙස හඳුනාගැනෙන බව ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති. ගැහැනිය, බිරිය, ස්ත්‍රිය, සහකාරිය, සුන්දරිය ආදි භාෂා භාවිතයන් පුරුෂභාවයේ යම් යම් අවශ්‍යතා සපුරාලීමේ අර්ථ ජනනය කරන බවටත් ඔවුහු කරුණු දක්වති. සිගාලෝවාද සූත්‍රයේ අඹු–සැමි සබඳතාව තුළින් එවන් අදහසක් බුදුසමය අනුමත නොකරන බව පැහැදිලි කරගත හැකි ය.

“...පුත්තදාරා දිසා පච්ඡා...”'

අඹුදරු සබඳතාව පැසුළු දිසාව වෙයි.
අවශ්‍ය නම් එම සූත්‍රයේ මධ්‍ය ලක්‍ෂ්‍යය බවටකාන්තාව පත් කරගත හැකි ය. පුරුෂයා කේන්ද්‍ර කොට දේශනා කළේ සම්මුති අර්ථයෙන් පමණක් බව එහි අන්තර්ගතය විමසුමෙන් හෙළි වෙයි. සූත්‍රයට අනුව බිරිය සැමියාට අනුකම්පා කරයි.
“පඤ්චහි ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි සාමිකං අනුකම්පති”
සැමියා විෂයෙහි අනුකම්පාව දැක්වීම යනු අධිකාරමය බලයක සිටිමින් කරන කාර්යයක් සේ තර්ක කළ යුතු නො වෙයි. භාෂාව භාවිත කිරීමේ දී තත්කාලීන භාෂා රීතීන් අනුගමනය කිරීම සාමාන්‍ය දෙයකි. ඒවා කාලීන ව වෙනස් අර්ථ ගත හැකි ය.
බිරියට උපස්ථාන කිරීම, ගරු කිරීම යනු සැමියාගේ ගෞරවයට, ස්වාමිත්වයට, ආත්මගරුත්වයට, නින්දාවක්, අපහාසයක් සේ බුදු සමය නො සලකයි. එනිසා ම බිරිය සැමියාට අනුකම්පාව දැක්වීමේ දී වුවත් ඇයගේ ක්‍රියාකාරීත්වය, කැප වීම, භක්තිය වැදගත් ය. අනුකම්පා කිරීම යනු සැමියාටත් දරුවන්ටත් එසේ ම පවුල හා සබැඳි අනෙක් සමාජ ආයතන වෙතත් සමාජීය පුරවැසියකු විසින් කළ යුතු පරිණත සමාජ කාර්යභාරය යි. ඒ හැර බැළමෙහෙවර කිරීම් අර්ථයකින් බුදුසමයේ මෙම වදන කාන්තාව සමඟ සම්බන්ධ කොට නැත.
මෙහි දී මිල කිරීමකින් තොර ව කාන්තාවගේ ශ්‍රමය සූරා කන බවටත්, එය පුරුෂාධිපත්‍යයේ අවශ්‍යතාව අනුව භාවිත කරනු ලබන බවටත් නිගමනය කළ හැකි කරුණු වේ ද? පවත්නා සමාජ, ආර්ථික ක්‍රමය තුළ කාන්තා ශ්‍රමය පමණක් නො ව, පුරුෂ ශ්‍රමය ද අඩු මිලට විකිණෙයි. බුදුසමය මෙහි දී අවධාරණය කරන්නේ දෙදෙනාගේ සහයෝගිතා සම්මුතියකි; ගිවිසුමකි. සැමියා ආර්ථික නිෂ්පාදකයා ලෙස පමණක් බුදුසමය විසින් හඳුනාගැනෙන්නේ නැත. ඉහත සඳහන් යුතුකම් ඉටු කිරීම තුළ පුරුෂාධිපත්‍යයට වඩා ඒ තුළ ප්‍රකාශ වන මනුෂ්‍ය සබඳතා අවධානයට ලක් කළ යුතු ය. බිරියගේ සේවය පවුලක පැවැත්මට අත්‍යවශ්‍ය බව බුදුසමය හෙළි කරයි. පිතෘ මූලික චින්තනයක පදනමක් ඉන් ගම්‍ය නො වෙයි. විවාහ ජීවිතයේ ‘ඛේම අප්පටිභය’ තත්ත්වට පත් විය හැක්කේ උක්ත සහයෝගිතා පදනම අර්ථවත් නම් පමණි.
දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කුල කුමරියන්ට, බිරින්දෑවරුන්ට යහපත් ව සැලකිය යුතුª බව, යහපත් ආකල්පමය ප්‍රතිචාර දැක්විය යුතු බව ප්‍රකාශ කරයි. එහි දී ද එම විග්‍රහය තුළට බිරිය අන්තර්ගත වී ඇත. ආත්මගෞරවය සමාජය තුළ, කාන්තාවට සුරක්ෂිත කරදීමට බුදුසමය ක්‍රියා කොට ඇති බවට ඇති සාධක දුලබ නො වේ.

“යා තා කුලිÀථියෝ කුල කුමාරිකායෝ න ඔක්කස්ස පසයිහ වාසෙන්ති...’
කාන්තාවගේ සමාජීය දායකත්වය පවුල් දිවියේ සිට සමාජය වෙතට විහිදෙයි. හුදෙකලා දිවියක සිට එය ඉටු කළ නොහැකි ය.
මිනිසුන්ගේ වඩාත් හොඳින් ප්‍රකට වන චරිත ලක්ෂණ අනුව ඔවුන්ව ප්‍රභේදකරණයට ලක් කිරීම විවිධ ක්ෂේත්‍රවලදී සිදු කරනු ලබයි. බුදුසමය ද පුරුෂයන් සේ ම කතුන් ද ඔවුන්ගේ අභ්‍යන්තර සහ බාහිර චරිත ලක්‍ෂණ කේන්ද්‍ර කොට වර්ග කරයි. එය කාන්තාවට පමණක් සීමා නො වෙයි. බුදුරදුන් මහා කරුණාව, මහා ප්‍රඥාව පෙරටුව ධර්ම දේශනා කළ බැවින් අන්තගාමී වීමක් සිදු නො වෙයි. තරුණිය මවක වීමට ප්‍රථම බිරියක් වෙයි. බිරියක නොවී මවක බවට පත් වීම වර්තමානයේ සුලභ සංසිද්ධියකි. එහෙත් බුදුසමය මගින් එකල තිබූ සමාජ ක්‍රමයට සාපේක්ෂ ව ධර්මය විවරණය කරන ලද බැවින් මවු පදවිය හිමි වන්නේ යහපත් ස්වාමි දියණිියක බවට පත් වීමෙන් ඉක්බිති ව යි. සමාජය වෙත ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ස්වාමි දියණියන් වර්ග සතක් සත්තභරිය සූත්‍රය ඉදිරිපත් කරයි.

  1. වධක භාර්යාව
  2. චෝර භාර්යාව
  3. අරිය භාර්යාව
  4. මාතු භාර්යාව
  5. භගිනි භාර්යාව
  6. සඛී භාර්යාව
  7. දාසි භාර්යාව

කාන්තාව සිය සැමියාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව යහපත් - අයපත් ලෙස වර්ග කළ බවක් මෙම සූත්‍රයේ මතුපිට අර්ථයෙන් ප්‍රකාශ වෙයි. එහෙත් සිගාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත බිරියගේ කාර්ය හා සැසඳීමේ දී සැමියා, දරුවන් සහ සමාජය යන සමස්තය සමග ස්වාමි දියණියක් සබඳතා පවත්වන ආකාරය අනුව මෙම විග්‍රහය කළ බව අනුමාන කළ හැකි ය. පීඩිත ව සිටින බිරිය තවදුරටත් පෙළීමේ දුෂ්ට චේතනාවක් මෙම වර්ගීකරණය ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව නො වෙයි. මෙම කරුණ විවිධ ලෙස අර්ථකථනය කිරීමට විවෘත බැවින් ‘දාසි හරිය’ යන්න විමසිය යුතු ය.

“අක්කුද්ධා සන්තා වධදණ්ඩ තජ්ජිතා අදුට්ඨ චිත්තා පතිනෝ තිතික්ඛති අක්කෝධනෝ භන්තු වසානුවත්තිතී..”

(අංගුත්තර නිකාය, සත්තභරිය සූත්‍රය)

දාසි බිරියගේ ප්‍රකට ව පෙනෙන ගුණාංග හා චරිත ලක්‍ෂණ මෙහි දී සැලකිල්ලට ලක් වී ඇත. නොකිපෙනසුලු, ශාන්ත වූ, වරදෙහි බිය දක්නාසුලු, සැමියාට ක්‍රෝධ නොකරන, සැමියාට හිතවත් යන අදහස් එමගින් කියවෙයි. මිල දී ගත් හෝ උරුමයෙන් සැමියා ලද දාසයකු ලෙස කාන්තාවට සංග්‍රහ නොකළ යුතු බව ඉන් කියවෙයි. කාන්තා ජීවිතයේ ඇතැම් දුබලතා වේ නම් දයාව පෙරටු කොට, නිවැරදි කිරීමට වැර දැරිය යුතු ය. සමාජයෙන් බැහැර කර දුකට හෝ පීඩාවට කාන්තාවන් පත් නොකළ යුතු බව ද එමගින් ගම්‍ය වෙයි.
බුදුරදහු පවුලක් පැවතීමට අවශ්‍ය කරන බිරියගේ දායකත්වය ඇගයුමකට ලක් කළ සේක. උග්ගහ සූත්‍රයේ දී උග්ගහ සිටුවරයාගේ දියණියට බුදුරදුන් දුන්නේ යැ යි සැලකෙනඋපදෙස් කිහිපයක් උක්ත අර්ථය සැබෑ බවට සාධකයකි. බිරියගේ වගකීම් පහක් එම සූත්‍රය ඉදිරිපත් කරයි.

  1. පළමුව පිබිදීම, පසු ව නින්දට යෑම, පි‍්‍රය වදන් සහිත වීම.
  2. සැමියාගේ දෙමාපියනට, මහණ බමුණන්ට ගරු සත්කාර, වන්දනා කිරීම
  3. සැමියාගේ කර්මාන්තයන්හි දක්ෂ ව, අනලස් ව, උපායශීලී ව, විමර්ශන බුද්ධියෙන් කටයුතු සංවිධානය කිරීම.
  4. සැමියා නිරත කර්මාන්තයන්හි නියුතු සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය පිරික්සීම, කළ නොකළ හැකි දේ විමසීම, රෝගී වූ ඔවුන්ට අවශ්‍ය සංග්‍රහ සංවිධානය.
  5. සැමියා උපයන ධන-ධාන්‍ය සම්පත් සුරැකීම, විවිධ දුරාචාරවලට ලොල් ව ඒවා විනාශ නොකිරීම.

නව ජීවිත ප්‍රවිෂ්ටයකට අවශ්‍ය උපදේශනයක් මෙහි අන්තර්ගත ය. ඇතැම් විටක පවුලේ සියලු වගකීම් කාන්තාවට පවරන ලද බව අයකුට හැඟී යා හැකි ය. එහෙත් එම කාර්යයන්ගේ අඩු-වැඩි භාවය කාන්තාවගේ සක්‍යතා අනුව තීරණය කරගැනීමට බුදුසමය බාධක නො වෙයි. සමස්ත බෞද්ධ ඉගැන්වීම තුළ කාන්තාව හඳුනාගන්නේ සුවිශේෂ හැකියාවන්ගෙන්, සියුම් නිර්මාණ ශක්තියෙන් හෙබි අයකු ලෙසිනි. විවාහයේ අයිතිය, ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය කතගෙන් බැහැර කිරීමට බුදුසමය අපේක්ෂා නො කරයි. එසේ වුවත් සාර්ථක ගෘහ දිවියක් උදෙසා සහයෝගය තුළින් පවුල් කාර්ය බෙදී යන ආකාරයක සේයාවක් මෙහි විද්‍යමාන වෙයි. ස්වාමි දියණියක ලෙස ඇය, සමාජය, හිතමිතුරන් සහ ස්වකීය කර්මාන්තයන්හි ජනයා සමඟ සම්බන්ධ වීම සහ හඳුනාගැනීම ඉහත ක්‍රියාකාරීත්වයන් සමඟ සම්බන්ධ වෙයි. ඇයගේ සංවිධානශීලීත්වය, ආර්ථික ක්‍රියාවලට මෙහි දී සම්බන්ධ වෙයි. නිවෙසේ සිටිමින් ගෘහ කටයුතු පමණක් කරමින්, සැමියාගේ අභිප්‍රාය වෙනුවෙන් දරුවන් තැනීමේ කාර්යය පමණක් ඇය සතු බව එමගින් ගම්‍ය නො වෙයි. අවශ්‍ය නම් වෘත්තියක නිරත වීමේ අවස්ථාව ද දෙදෙනාගේ සහයෝගය මගින් උදා කරගත හැකි ය. එවිට ඉහත විග්‍රහ කළ ඇතැම් පුරුෂාර්ථ බැහැර විය හැකි ය.
ශ්‍රමය සම්බන්ධ විග්‍රහයේ දී බුදුසමය සැම පුද්ගලයකුගේ ම ශ්‍රමාභිමානය අගය කරයි. සමාජයේ සෑම කාර්යයක දී ම වැය කරනු ලබන ශ්‍රමයට දැක්විය යුතු සැලකිල්ල කූටදත්ත, ව්‍යග්ඝපජ්ජ, පත්තකම්ම, චක්කවත්ති සීහනාද ආදි සූත්‍ර තුළ පැහැදිලි කැරේ. එනිසා ම කාන්තා ශ්‍රමයට නිසි අභිමානයක් ලබා නොදෙන බවට මුල් බුදුසමයට චෝදනා කිරීම අතාර්කික ය. මනුෂ්‍ය ශ්‍රමයට අදාළ ඇගයුම් ලිංග, ජාති, කුල භේද රහිත ව බුදුසමය අනුමත කරයි; ශ්‍රම වටිනාකම තහවුරු කරයි.
කාන්තාව යම් ආකාරයකට පිරිමියකුට වඩා දියුණු වූ දයාවක්, කරුණාවක් අයත් චරිතයක් විය යුතු බව සමාජය විසින් සම්මුති අර්ථයෙන් අපේක්ෂා කරනු ලැබේ. න්‍යායික ව යම් විසමතා මතු වුව ද ඇතැම් දෘෂ්ටිකෝණ අනුව පසුගාමී මානසික ලක්‍ෂණ ලෙස විග්‍රහ කරනු ලබන්නා වූ වඩාත් ළතෙක් බවක් සමාජය විසින් කාන්තාවගෙන් අයදිනු පෙනෙයි. එහෙත් මනුෂ්‍ය අවශ්‍යතා යන භාවාත්මක පැතිකඩ විමසන විට මිනිසා විසින් එවැනි දයාන්තවිත බවක් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින විට ඇයට එම අංශයට කාරුණික විය හැකි නම් සමාජයීය සුභ සිද්ධියට එය උපකාරයක් විය හැකි ය. බුද්ධ කාලයේ තිබූ ආකල්පයක් වන්නේ ළාබාලතම බිරිය ශ්‍රේෂ්ටතම බව යි. බුදුසමය එයට නව අර්ථකථනයක් ඉදිරිපත් කරයි.

“සම්බුද්ධෝ ද්විපදං සෙට්ඨෝ -ආජානීයෝ චතුප්පදං
සුස්සූසා සෙට්ඨා භරියා නං - යෝච පුත්තානමස්සවෝති.”

‘සුස්සූසා’ පදය සංයුක්ත නිකායේ බුද්ධ ජයන්ති මුද්‍රණයේ දී (පිටු 12) පරිවර්තනය කොට ඇත්තේ ‘සැමියා පිනවන්නී’ යන අර්ථයෙනි. මෙය එම පදයෙහි නිවැරදි පරිවර්තනයක් විය නොහැකි ය. අර්ථය විය යුත්තේ ‘හොඳින් ශ්‍රවණය කරන්නී’ යන්න යි. පළමු අර්ථයෙන් පරිවර්තනය වුව හොත් පුරුෂාධිපත්‍යයක් බුදුසමය තුළ වන බවට තර්ක කළ හැකි ය. එහෙත් එවන් අදහසක් බුදුරදුන් අනුමත කිරීම සැක සහිත ය. ඇතැම් සූත්‍ර දේශනා වුවත් බුදුරදුන්ගේ ම යැ යි වටහාගැනීමේ දී සමස්ත බෞද්ධ ඉගැන්වීම් හා සසඳා බැලීමත් ඒවා සමඟ ගැළපේ නම් පමණක් පිළිගැනීම වඩාත් යෝග්‍ය බවත් බෞද්ධ ආකල්පය යි. නූතන චින්තාවන්ගෙන් ප්‍රතික්‍ෂේප වන ඇතැම් ඉගැන්වීම් බුදුරදුන්ගේ නොවන බව සටහන් කොට, ආගම ආරක්ෂා කරගැනීමේ ‘ආගමික කාර්යයක්’ මෙමගින් අපේක්ෂා නොකැරෙන බව, මේ පිළිබඳ විමර්ශනශීලි වන විට පැහැදිලි ය. එවන් උපකල්පනයකට පැමිණීමට වඩා වැදගත් වන්නේ මුල් සූ‍්‍රත්‍ර හා ගැළපෙන, ධර්ම විනයට ප්‍රතිරෝධ නොවන අංග පමණක් සොයාගැනීම යි.
බුදුරදුන් කාන්තාව වෙත දැක්වූ මානුෂික ආකල්පය වඩාත් හොඳින් ප්‍රකාශ වන අවස්ථා මුල් බුදු සමයේ අන්තර්ගත ය. එහෙත්, බුදුරදුන්ගේ යැ යි දක්වන ඇතැම් සූත්‍රවල අන්තර්ගත ඇතැම් කරුණු කුකුසක් දනවයි. සංයුක්ත නිකායේ ඉස්සරිය සුතුර එවැන්නකි. එහි දී ලොව අධිපති ලක්‍ෂණය කුමක් ද? ආදි ප්‍රශ්න කීපයක් දක්වයි. ඒවාට දෙනු ලබන පිළිතුරු අතර කාන්තාව ‘උතුම් භාණ්ඩය’ ලෙස නම් කරනු පෙනේ.

“වසෝ ඉස්සරියං ලෝකේ – ඉÀථි භණ්ඩාණ මුත්තමං
කෝධෝ සත්ත මලං ලෝකේ - චෝරා ලෝකස්මිං අබ්බුදං.”

මෙහි ‘උතුම්ම භාණ්ඩය’ යනු කුමක් ද? කාන්තාව භාණ්ඩයක් ලෙස අර්ථවත් කරන්නේ කුමන පදනමක ද? යන කරුණ වටහාගැනීමට තරම් ප්‍රමාණවත් විග්‍රහයක් සූත්‍රය තුළ අප්‍රකට නමුත් එවන් ප්‍රකාශනවල වලංගු භාවය මුල් බුදුසමය හා කෙසේ සැසෙඳ් ද යන්න වැඩිදුරටත් විමසිය යුතු ය. කේන්ද්‍රීය බෞද්ධ හරයන්ට අනුව ‘භාණ්ඩය’ යන අරුතින් කාන්තාව හඳුනාගැනීමක් සිදු නොවිය හැකි ය. මවක, බිරියක දියණියක ලෙස බුදුරදුන් අගය කළ කාන්තාව විෂයයෙහි ඉහත ආකාරයේ අඩු සැලකිල්ලක් දැක්වීම අහේතුක ය.
මේ අනුව ස්වාමි දියණිය යනු බෞද්ධ පවුල් සන්දර්භය තුළ අතිශය වැදගත් චරිතයකි. සම්මතය තුළ පවුල ආයතනයක් ලෙස පැවතීමේ දී යම් යම් සාම්ප්‍රදායික ලක්‍ෂණ ඊට බලපෑම් කිරීම සෑම සංස්කෘතියක ම පාහේ සිදු වන්නකි. එහෙත් මුල් බෞද්ධ ඉගැන්වීම්වල ස්වාමි දියණිය පවුලේ සම උරුමකාරියක ලෙසින් නිතර ම හඳුනාගනු පෙනේ.ඇය දෙවැනි චරිතයක් බවට පත් කිරීමට බුදුසමය කිසිදු ප්‍රයත්නයක් ගෙන නැත.
ස්වාමි පුරුෂයා යනු ජෛවීය වශයෙන් පවත්නා මිනිසාගේ වෙනස්කම් පිළිබඳ පදනමේ සිට සංස්කෘතික වශයෙන් නිර්මාණය කරගත් සමාජ සම්මුතියකි. එහි දී මිනිස් සංහතියේ පිරිමි නමැති එක් කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද ප්‍රදානය කිරීම සදාචාරාත්මක වශයෙන් අපරිපූර්ණ වූවකි. ‘ශක්තිය බලය වෙයි’ යන ‘වන නීතිය’ තව දුරටත් මිනිස් සමාජයට අදාළ නම්, පිරිමි පක්‍ක්‍ෂය ආත්මාර්ථකාමී ව වරප්‍රසාද භුක්ති විඳීම අනුමත කළ හැකි ය. සමකාලීන සමාජ සන්දර්භය තුළ දී සෑම මනුෂ්‍යයකු ම උපකල්පනය කරනුයේ මිනිසා යනු ශිෂ්ට සහ සංස්කෘතික සත්ත්වයකු බව යි. එය සැබෑ ප්‍රකාශනයක් නම් පුරුෂාධිපත්‍ය හෝ පිතෘමූලිකත්වය අවශ්‍ය බව පිළිගැනීම විසංවාදී වූවකි.
බෞද්ධ ඉගැන්වීම් තුළ ස්වාමි පුරුෂයා හෙවත් ‘භත්තා’ යනු ගෘහයක සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන වැදගත් චරිතයකි. ඔහු බිරිය හෝ දරුවන්ගේ හිමිකරුවා නො වෙයි. ඇතැම් සමකාලීන පුරුෂාර්ථ බවට පත් ව ඇති, දේපළ උරුමය පිළිබඳ රීතිය, දූදරුවන්ගේ නාමකරණය තුළ ස්වාමියාගේ කේන්ද්‍රීය බව පිළිගැනෙයි. එහෙත් බුදුසමයේ විවරණය වන සැමියා යනු විවාහ දිවියේ කොටස්කරුවෙකි. සිගාලෝවාද සූත්‍රයේ අඹු-සැමි සබඳතාව විග්‍රහ කිරීමේ දී සැමියා බිරියට සංග්‍රහ කළ යුතු බව කියැවෙයි. එහෙත් එමගින් කාන්තාවගේ අසරණ භාවයට පිහිට වීමක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් නො වෙයි. සහයෝගී ජීවිතයේ තම කාර්ය ඉටු කිරීම පමණක් සැමියා විසින් සිදු කැරේ. බුදු සමය මෙනයින් ස්වාමියාගේ යුතුකම් පහක් ඉදිරිපත් කරයි:

  • සම්මානනාය – ආදර බහුමන් සහිතව බිරිඳට ඇමතීම
  • අනවමානනාය – ඇයට අවමන් නොකිරීම
  • අනතිචරියාව - බිරිය නොඉක්මවීම
  • ඉස්සරිය චොස්සග්ගේන – ගෘහ පාලනය ඇයට පවරා දීම
  • අලංකාරානුප්පදානේන – ආභරණ වස්ත්‍ර ආදිය ඇයට සපයා දීම

කාන්තා අයිතීන් රැසක් මෙමගින් සුරක්ෂිත වෙයි. දෙදෙනා එකඟ වූ සම්මුතිය කඩ නොකර ආරක්ෂා කිරීම යනු අසහනය තුළ දිවි ගෙවීම වෙනුවට තෘප්තිමත් දිවියකට මග විවර කරගැනීමකි. එහෙත් මෙම උපදේශ නොකඩකොට රැකිය යුතු ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ යුතු නීති සමුදායක් බව බෞද්ධ කතිකාව තුළින් හෙළි නො වේ.
බුදුරදුහු බිරිය සැමියාගේ දාසිය ලෙස නොව උතුම් ම යහළුවා සේ හඳුනාගනිති:

“කිං සූධ පරමෝ සඛා?
හරියාව පරමෝ සඛා..”

(සංයුත්ත නිකාය, වත්ථු සූත්‍රය)

බුදුරදුන් වරෙක විශ්වාසය, පරම වූ ඥාතියා ලෙස (විස්වාසපරමා ඤාති) හැඳින්වූ අයුරු අපට ධම්මපදය සිහි ගන්වයි. සැමියාගේ විශ්වාසවන්ත ම සහකරු බිරිය යි. සැමියා කාරුණික ආකල්පයක්, සෙනෙහසක්, ඇය වෙත දැක්විය යුත්තේ ඒ නිසා ය. ඇය ද්විතීයික වීමක් මෙමගින් අනපේක්ෂිත ය.
මිනිසා පිළිබඳ බෞද්ධ විග්‍රහයේ දී ඔහුගේ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික යන අංශද්වය පිළිබඳ ව ම අවධානය යොමු කරනු ලැබේ. තත්කාලීන ඇතැම් සමාජ සම්මුතීන් ද සැලකිල්ලට ගත් අයුරු ‘ආවේණික දුක්ඛ’ සූත්‍රය පැහැදිලි කරයි.

  1. ඉධ මාතුගාමෝ දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති ඤාතකේහි විනා හෝති
  2. මාතුගාමෝ උතුනී හෝති
  3. මාතුගාමෝ ගබ්භිනී හෝති
  4. මාතු ගාමෝ විජයාති
  5. මාතුගාමෝ පුරිසස්ස පාරිචාරියං උපේති

ඍතු වීම, ගැබ් ගැනීම හා දරුවන් වැදීම යන කාරණා තුන ගෘහ දිවියක සාර්ථක පදනම සඳහා තීරණාත්මක ය. එනිසා ම සැමියා කාන්තාවට සහනය ඇති වන ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ය.
සැමියාගේ ප්‍රධානත්වය පවුලක් තුළ ක්‍රියාත්මක විය යුතු බවට දක්වන අදහසක සේයාවක් ‘රථ’ සූත්‍රය තුළ ප්‍රකාශ වෙයි. ලෝකයේ පවත්නා සෑම දෙයක් ම විවිධ සලකුණු ඔස්සේ ලෝකයට ප්‍රකාශ වෙයි. ගිනි ඇති බව දුමෙනුත්, රථය ඇති බව කොඩියෙනුත් ප්‍රකාශ වෙයි. රටක සලකුණු රජතුමා වෙයි. එසේ ම කාන්තාවගේ සලකුණ සැමියා බවත් ප්‍රකාශ වෙයි.

“කිංසු පඤ්ඤාණ මිත්ථියා
භත්තා පඤ්ඤාණ මිත්ථියා”

පුරුෂ මැදිහත් වීමක් රහිත ව කාන්තාවගේ සමාජයීය පැවැත්ම අර්ථවත් නො වේ ද? කාන්තා ජීවිතය අර්ථවත් වන්නේ සැමියකු සහිත දිවියක දී පමණක් ද? ස්වයං ප්‍රතිරූපයක් ඇය සතු නො වේ ද? ආදි ප්‍රශ්න රැසක් මෙහි දී පැනනගියි. භික්‍ෂුණි සහ උපාසිකා චරිත පිළිබඳ මුල් බෞද්ධ විග්‍රහය තුළ එවන් සීමාවක් කාන්තා ජීවිතයට ප්‍රවිෂ්ට කිරීමට බුදුසමය වැර නොදැරූ බව ප්‍රකාශ වෙයි. බිරියක, කුමාරිකාවක, තරුණියක, ළදැරියක ලෙස ඇයට සමාජ ප්‍රතිරූපයක් ඇති බව බුදුසමය පිළිගනියි. ථේරි ගාථාවන්හි සටහන් ව ඇති ‘ඉසිදාසි’ වැන්නවුන්ගේ ජීවන ප්‍රවෘත්ති සමකාලීන බිරින්දෑවරුන්ගේ අසරණ ජීවිතය විදහා දක්වයි. ඉසිදාසියගේ ගුණවත් බව ම සැමියන්ගෙන් ඇය ප්‍රතික්ෂේප වීමට හේතු විය. වර්තමානයේ ලෙසින් ම සැමියන් විසින් සමාජීය වශයෙන් සිල්වත්, එහෙත් ගෘහ දිවිය තුළ දී ඊට හාත්පසින් ම විරුද්ධ චරිතයක් කාන්තාවගෙන් අපේක්ෂා කිරීම ඉසිදාසියගේ අසරණ භාවයට හේතු බවට පත් වන්නට ඇත.
කාන්තාවන්ට නිසි තැන ලබාදීමේ ප්‍රයත්නයක යෙදෙන ‘කාන්තා විමුක්ති ව්‍යාපාර’ පවුල් දිවියට ප්‍රබල බලපෑමක් එල්ල කොට ඇත. කෘෂි ආර්ථික රටාවේ දී, ආර්ථික කෘත්‍ය සපුරා ම සැමියා මත පැවති මුත් නූතනයේ පුරුෂාර්ථ වෙනස් වීම, ප්‍රතිසංස්කරණ ඇති වීම ඉවසිය යුතු ය. සාම්ප්‍රදායික පිතෘ අධිකාරිත්වය මත වූ විවිධ අංශ තුළ, කාන්තා මැදිහත් වීම ප්‍රබල සමාජීය වෙනසක සටහනකි. ගෘහස්ථ දිවියේ කාර්ය හා රැකියාව අතර කාන්තාවගේ භූමිකාව වෙනස් වීම ද ලඝු කොට නොතැකිය යුතු ය.
මේ වන විට ස්ත්‍රී - පුරුෂ සමාජ කාර්ය හා භූමිකා වෙනස් වීම, හුවමාරු වීම පමණක් නො ව, පවුල් ව්‍යූහයේ ද ප්‍රබල වෙනස්කම්වලට සංවර්ධිත බටහිර සමාජ පියවර තබා අවසන් ය. සමලිංගික විවාහ, ඒක මාතෘ හෝ ඒක පිතෘ කේන්ද්‍රීය පවුල් මෙම කරුණ තහවුරු කරන සරල නිදසුන් ය. එහෙත් ඒවායේ සමාජීය කාර්ය සුළු කොට නොගිනිය හැකි ය. විරුද්ධ ලිංගික පවුල් සංස්ථාවේ සම්පූර්ණ ප්‍රතික්‍ෂේප කිරීමක් එමගින් සිදු වී ඇත. එවන් සන්දර්භයක් තුළ ස්වාමි-භාර්යා සබඳතාව විමසීමේ සීමාව විරුද්ධ ලිංගික පවුලට පමණක් සීමා වේ ද යන්න තවත් වැදගත් පැනයකි.
බෞද්ධ ස්වාමි-භාර්යා සහසම්බන්ධය නිරතුරු ව එහි සාමාජිකයන්ගේ අවශ්‍යතාවට විශේෂ ගෞරවයක් පිරිනමයි. ඇතැම් පෞද්ගලික රුචි-අරුචිකම්, ඇගයුම් අපේක්ෂා ආදිය අනෙකා වෙනුවෙන් හෝ පවුලෙහි ප්‍රගතිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පවුල් ජීවිතයක් තුළ දී සිදු විය හැකි ය. එවැනි වෙනස්කම් ඉවසා දරාගැනීමට තරම් ශක්තිමත් පෞරුෂයක් කෙනකු සමාජානුයෝජනය වන සහ අධ්‍යාපනය ලබන කාලය තුළත් එසේ ම පූර්ව වෛවාහික ජීවිතය තුළත් කාන්තා හා පිරිමි යන දෙපක්ෂය විසින් ම සංවර්ධනය කළ යුතු ය. නෛතික හෝ රීතික පදනමක මිනිසා සිර කිරීමේ අවශ්‍යතා මත නොව, මිනිසාගේ අවශ්‍යතා මත ඇගයුම් නිර්ණායක වුව වෙනස් කිරීමට බෞද්ධයා පසුගාමී නොවිය යුතු ය. එහෙත් ධාර්මිකත්වය, තමන්ගේ නිෂ්ඨාව හා බැඳි සත් චාරිත්‍රානුකූල ප්‍රතිපත්ති ආදියේ අවශ්‍යතාව සෑම පරිවර්තනයක් හා වෙනස්කමක් තුළ දී ම ආරක්ෂා විය යුතු බව බුදුසමය අපේක්ෂා කරයි.
තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් තම ජීවිතය පවරාදීමක් පිළිබඳ බුදුසමයේ කරුණු ඉදිරිපත් වනු නො පෙනෙයි. එසේ ම භෞතික වස්තු සම්පත්වලට තම ජීවිතය යටත් කොට මනුෂ්‍යත්වයට උරුම ශ්‍රේෂ්ඨ ගුණාංග අහිමි කරගැනීමක් සඳහා ද බුදුසමය අනුබල නො දෙයි. ස්වාමි-භාර්යා සබඳතාව බුදුසමයේ දී හඳුනාගැනෙන්නේ සම්මුති අර්ථයෙනි. පුද්ගල දිවිය තුළ ගැටුම් අවම වන පරිදි එම භූමිකා දෙකෙහි කාලීන පරිවර්තන ඇති කරගැනීමට එරෙහි වීමක් බුදුසමයෙන් සිදු නො කැරෙයි.

යහපත් විවාහය

සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම් ජීවමාන බුදුරදුන්, දවස මෙන්ම කවරදාටත් ඕනෑම සමාජයකට ද එක ලෙස වැදගත් වනු පෙනේ. සමාජයේ පවුල් වල ඇතිවන අවුල් තත්ත්වයන් නිසා ප්‍රශ්න රැසක පැටලී සිටින අඹු සැමියන් වෙතින් මේ යුතුකම් ඉටුකරලීමට ක්‍රියාකරන්නේ නම් තම තමන්ගේ ජීවිත මගින් දෙලොව යහපත උදාකරගත හැකිවෙයි.

බෞද්ධ දර්ශනය මගින් පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ලබාදෙන උපදෙස් අපමණ වේ. පුද්ගලයාගේ ජීවිතයක මෙලොව අභිවෘද්ධිය, යහපත දියුණුව ගොඩනැඟීමට උරදෙන ප්‍රධාන සාධකයක් ලෙස විවාහය හඳුන්වා දිය හැකිය. පවුලක අඹු සැමි දෙපාර්ශ්වය සතු ගුණධර්ම එහිලා ඍජුවම බලපෑම් ඇති කරනු ලැබේ. විවාහ ජීවිතයක් යහපත්ව පවත්වාගෙන යමින් දියුණු විය හැකි කරුණු රැසක් සිඟාලෝවාද සූත්‍රයේද අන්තර්ගතය. සිඟාලෝවාද සූත්‍රයෙහි සමාජය කණ්ඩායම් කිහිපයකට බෙදා දක්වමින් ඒ එක් එක් සමාජ කණ්ඩායමට අදාළ යුතුකම් හා වගකීම් හඳුන්වා දී ඇත. ඒ අතර එක් සුවිශේෂ සමාජ කණ්ඩායමක් වන්නේ අඹුසැමියන්ය.

සමාජයක් ගොඩනැගෙන්නේ පවුල් ඒකක එකතුවෙනි. සමාජයේ ඉදිරි ගමනට යහ පැවැත්මට පවුල් ඒකක බලපානු ලැබේ. සමාජයක් පිරිහීමට පත්වන්නේද අඹුසැමි දෙපාර්ශ්වය අතර ඇතිවන පරිහානිය තුළිනි.

සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම් ජීවමාන බුදුරදුන්, දවස මෙන්ම කවරදාටත් ඕනෑම සමාජයකටද එක ලෙස වැදගත් වනු පෙනේ. සමාජයේ පවුල් වල ඇතිවන අවුල් තත්ත්වයන් නිසා ප්‍රශ්න රැසක පැටලී සිටින අඹු සැමියන් වෙතින් මේ යුතුකම් ඉටුකරලීමට ක්‍රියාකරන්නේ නම් තම තමන්ගේ ජීවිත මගින් දෙලොව යහපත උදාකරගත හැකිවෙයි.

සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමියා - භාර්යාව විෂයෙහි ඉටුකළ යුතු යුතුකම් පහක් හඳුන්වා දෙයි. එනම්

  1. බිරිඳට ගරු කිරීම
  2. අවමන් නොකිරීම
  3. පරදාර සේවනය නොකිරීම
  4. බිරිඳට ගෙදර වගකීම් පැවරීම
  5. ඇඳුම් පැළඳුම් සපයාදීම

බිරිඳ ස්වාමියාගේ සේවිකාවක ලෙස නොසලකා ඇයට ඇයගේ නිදහස ලබාදිය යුතුය. ස්වාමියා කෙරෙහි පැහැදීමක් ඇතිවන්නේ බිරිඳට ගරුසරු ඇතිව ස්වාමියා පි‍්‍රයශීලි වදන් තුළින් කථාකරන කල්හිය.

ස්වාමියාගේ කටයුතු වලට සහාය වෙමින් නිවසේ කටයුතු ඉටුකරන යහපත් බිරිඳට අවමන් නොකළ යුතුය. නොගැලපෙන රළු, වචන වලින් බිරිඳ ඇමතීම ස්වාමියෙකු නොකළ යුත්තකි. බිරිඳගේ සිත ආතතියට ලක්කිරීම නිසා නිවසේ කටයුතු අඩාල වීමද සිදුවනු ඇත.

පවුල් ජීවිත අර්ථාන්විතව පවත්වාගෙන යාමට නම් ස්වාමියා තම බිරිඳ ඉක්මවා නොයා යුතුය. බිරිඳ කෙරෙහි සැබෑ ආදරයක් ගෞරවයක් ඇති ස්වාමියෙක් කිසිවිටෙක අයහපතෙහි නොයෙදේ. පාපකාරී ක්‍රියාවන්හි නිරත වන ස්වාමියෙක් කෙරෙහි විශ්වාසයක් බිරිඳ තුළ ඇති නොවේ.

බිරිඳට නිවසෙහි වගකීම් පවරා දීමට යහපත් ස්වාමියා පසුබට නොවේ. කාන්තාව අලංකාර වස්ත්‍රාභරණයන්ට නිතැතින් ඇලුම් කරන් නේ යැයි සමාජ මතයක් ද පවතී. එබැවින් ස්වාමියා තමන්ගේ ආර්ථික ශක්ති ප්‍රමාණයට වස්ත්‍රාභරණ රැගෙන දෙමින් බිරිඳ සතුටට පත්කරලීමද යහපත් ස්වාමියෙකුගේ යුතුකමකි.

මෙලෙස යුතුකම් ඉටුකරමින් ක්‍රියාකරන ස්වාමියා විෂයෙහි බිරිඳ ද ඉටුකළයුතු යුතුකම් වෙයි. බිරිඳ විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

  1. නිවසේ කටයුතු මැනවින් සංවිධානය කිරීම
  2. ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම
  3. පරපුරුෂ සේවනය නොකිරීම
  4. උපයන ලද ධනය ආරක්ෂා කිරීම
  5. සෑම කටයුත්තකම දක්ෂවීම හා අනලස වීම

ස්වාමියා ගෙදර වගකීම් තම බිරිඳට පවරන්නේ දැඩි විශ්වාසයකිනි. නිසි පරිදි නිවසේ කටයුතු සංවිධානය කිරීමට බිරිඳ පසුබට නොවිය යුතුය. නිවස පිරිසුදුවත්, අලංකාරවත්ව පවත්වාගැනීමද දරුවන්ගේ කටයුතු සොයා බැලීමද ආහාරපාන පිළියෙල කිරීමද, අරපිරිමැස්මෙන් කටයුතු කිරිමාදිය සංවිධානාත්මක අයුරින් ඉටුකළ යුතු වෙයි. මේවා නිසි ලෙස සිදුකිරීම සැමියාට මහත් අස්වැසිල්ලකි.

ස්වාමියා නිවසෙහි සිටියත්, නොසිටියත් ස්වාමියාගේ මව්පියන්ගේ කටයුතු සොයාබලා ඉටුකරදීම නිවසට පැමිණෙන හිත මිතුරන්ට මැනවින් සංග්‍රහ කිරීමාදිය යහපත් බිරිඳකගේ වගකීමකි. උදව්වක් උපකාරයක් ඉල්ලන ඥාති හිත මිතුරන්ට හැකි අයුරින් උදව් කිරීමද බිරිඳකගේ යහපත් චාරිත්‍රයකි. ඒ තුළින් ලැබෙන ප්‍රශංසාව බිරිඳට මෙන්ම සැමියාටද සතුටක් ගෙනෙයි.

ස්වාමියා කෙරෙහි පවතින විශ්වාසය බිරිඳ ද ආරක්ෂා කරගත යුතුය. බිරිඳක් අනාචාරයෙහි හැසිරෙන කල්හි නිවසෙහි සියලු කටයුතු බිඳ වැටේ. ස්වාමියා උපයන ධනය නැති නාස්ති වී යයි. දරුවන් නොමඟ යයි. විවාහ සබඳතා දෙදරා යන එම ක්‍රියාදාමයෙන් වෙන්වී කටයුතු කරන බිරිඳ නිවසට ශි‍්‍රයා කාන්තාවකි.

අරපිරිමැස්මට හුරු වීමද බිරිඳකට අත්‍යවශ කාරණයකි. සැමියා උපයන ලද ධනය ගෙදර කටයුතු සඳහා ක්‍රමානුකූලව වියදම් කරන කළමනාකාරිය බිරිඳයි. එබැවින් දුසිරිතෙන් වෙන්ව අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට බිරිඳක් පුරුදු විය යුතුමය.

අනලස්ව නිවසේ වැඩකටයුතු වල නියැළීමද බිරිඳක අතින් සිදුවිය යුත්තකි. අලස බිරිඳක් ඇති විටෙක නිවසේ කටයුතු අඩාල වෙයි.තම සැමියා සේම බිරිඳ ද තම යුතුකම් හා වගකීම් නිසිපරිදි ඉටුකළ යුතුය. එකිනෙකට පැවරෙන යුතුකම් අනෙකාගේ අයිතිවාසිකම් වේ. තම තමන්ගේ යුතුකම් ඉටුවන විට කාගේත් අයිතිවාසිකම් කඩ නොවෙයි. එකිනෙකාගේ යුතුකම් ඉටුවන ගෘහය යහපත් ය. අංගුත්තර නිකායේ සංවාස සූත්‍රයෙහි පෙන්වා දෙන පවුල් සංස්ථා හතරක් වෙයි. එනම්

ජවෝ ජවාය සද්ධිං සංවසති
මළමිනියක් මළමිනියක් හා එක්ව වාසය කිරීම

ජවෝ දේවියා සද්ධිං සංවසති
මළමිනියක් දෙව්දුවක සමඟ වාසය කිරීම

දේවෝ ජවාය සද්ධිං සංවසති
දෙවියෙක් මළමිනියක් සමඟ වාසය කිරීම

දේවෝ දේවියා සද්ධිං සංවසති
දෙවියෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම

මළමිනියක් මළමිනියක් සමඟ ජීවත්වනවා යනු ස්වාමි – භාර්යා දෙදෙනාම පස් පවට නැඹුරුව අකටයුතු කම් සිදුකරමින් දුශ්ශීලව ජීවත්වීමයි. මළමිනියක් දෙව්දුවක සමඟ වාසය කිරීම නම් ස්වාමියා නොයෙක් දුරාචාර සිදුකලත් භාර්යාව ගුණගරුකව සිල්වත්ව සිටිමින් ගත කරන පවුල් ජීවිතයයි. දෙවියෙක් මළමිනියක් සමඟ විසීම නම් ස්වාමියා ගුණගරුක නමුත් භාර්යාව ගුණ හීන දුශ්සීල තැනැත්තියක් වීමයි.

දෙවියෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම නම් දෙදෙනාම සීලාදී ගුණයන්ගෙන් යුක්තව වාසය කිරීමයි. බුදුරදුන් අගය කළේ එම පවුල් සංස්ථාවයි. බුද්ධ කාලයේ සිටි නකුල මාතා නකුල පිතා බුදුරදුන්ගේ ප්‍රසාදයට පත්වූයේ ඔවුන් දෙදෙනා තුළ පැවැති සීලාදී ගුණධර්ම නිසාය. විවාහ ජීවිතයක් සාර්ථකව පවත්වා ගෙන යාමට නම් අඹුසැමි දෙපාර්ශ්වයේ යුතුකම් හා වගකීම් නොපිරිහෙළා මනා ලෙස ඉටුවිය යුතුමය. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන යුතුකම් ඉටුකිරීම තුළින් ලෞකික දිවියේ පවුලේ සාර්ථකභාවය ඇති කරගනිමින් පරලොව සුගතිගාමීත්වයද ළඟාකරගත හැකිය.



No comments:

Post a Comment